තෘණ කැබලි කර ලබා දීමෙන් කිරි දෙනුන්ගේ කිරි නිශ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහල නංවාගැනීමට පුලුවන. ඒ වගේම ආහාර නාස්තිය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක. මේ හරහා ගොවිපලේ ලාභය සැලකිය යුතු ලෙස ඉහල යයි. මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ගොවි ජනතාව දැනුවත් කලද තවමත් අපේ රටේ බහුතරයක් ගොවීන් ඒ උපදේසය පිළිගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
ගවයන් ඇති කිරීම යනු ශ්‍රමය වැඩියෙන් අවශ්‍ය වන කර්මාන්තයකි. තෘණ කැබලි කර ලබා දීම යනු තව අමතර වෙහෙසක් හා වැඩි කාලයක් යෙදවීමට හේතු වන්නකි. ගොවීන් තෘණ කැබලි කර ලබා නොදීමට එය එක් හේතුවක් විය හැක. එනමුත් ඒ වෙනුවෙන් වැයකරන අමතර කාලය හා ශ්‍රමයට සපේක්ෂව ඉහල ආර්ථික ප්‍රථිලාභයක් ලැබෙන බව නිශ්චිතවම කිව හැකිය.
ගවයන් යනු තෘණ බිම් වල වැඩෙන එතරම් උස් නොවූ තණකොල උලා කෑමට හුරු වූ සතුන් විශේෂයකි. නමුත් අපේ රටේ එවන් විශාල තෘණ බිම් දකින්නට නැත. එසේ උවත් ලංකාවේ කිරි ගව පාලනය ප්‍රචලිත වීමට එය විශාල බාදාවක් වී නැත. විශේෂයෙන්ම ඉහලම කිරි නිශ්පාදනයක් ඇති මධ්‍යම පළාතේ එවන් තෘන භූමී නැති තරම් ය. ඒ පසුබිම තුල අපේ ගොවීන්ට තමන්ගේ ගවයන් පෝෂණය කිරීමට ලැබුන වටිනාම සම්පත වූයේ විශාල ලෙස වැඩෙන ගිණි තණකොලය. ඊට අමතරව උසස් වර්ගවල නේපියර් ආදී තෘණ වර්ගද මේ වන විට ජනප්‍රිය වී ඇත. අඩි කිහිපයක් උසට වැඩෙන මෙම තෘණ වර්ග කපා ගෙනවිත් ඒ ලෙසටම ගවයන්ට ආහාර ලෙස දීමට අපේ ගොවි මහත්වරුන් පුරුදු වී ඇත. අපේ ගවයන්ද ඒවා අහාරයට ගැනීමට මැලිකමක් දක්වන බවක් පෙනෙන්නට නැත.
ගවයන් මෙලෙස කැමැත්තෙන්ම කැබලි නොකල තෘණ කෑමට ගන්නවානම් කැබලි කර ලබා දෙන ලෙස උපදෙස් දෙන්නේ ඇයි?
ගොවි මහතුන්ගේ සිතේ ඒ ප්‍රශ්නය මතු විය හැක. ඒ ප්‍රශ්නයට උත්තර සෙවීමට නම් ගවයන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන යම් අවභෝදයක් ලබා ගත යුතුව ඇත.
සාමාන්‍යෙන් ගවයන් ආහාර ඇති වෙලාවට වේගයෙන් ගිල දමනු ලබයි. එසේ ගිල දමන අහාර මුලින්ම ගමන් කරන්නේ රූමනය නම් විශාල අවයවයකටය. එහි සිට ආහාර මාර්ගයේ ඉදිරියට නිදහසේ ගමන් කිරීමක් සිදු වන්නේ නැත. ආහාර වලට රූමනයේ සිට ඉදිරියට යෑමට නම් මිලි මීටරයක් පමන වන ඉතාමත්ම කුඩා කැබලි වලට බිද දැමිය යුතුය. එම ක්‍රියාවලියේ එක ප්‍රධාන පියවරක් වන්නේ වමාරා කෑමය. ගවයා නිදහසේ සිටින වෙලාවකට කලින් ගිල දැමූ ආහාර යළි මුකයට ගෙන බොහෝ වේලාවක් හපනු ලබයි. ඉතා දිග තෘණ ගස් ආහරයට ලබා දුන් විට ඒවා සපා කෑමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන අතර ඒ සදහා වැඩි කාලයක්ද ගත වේ. මෙලෙස කැබලි වෙන තෘණ ඉන් පසු රූමනය තුලදී බැක්ටීරියා ආදාරයෙන් ජීර්ණය සිදු වනු ලබයි. තෘණ කැබලි කර ලබා දීමෙන් මේ සමස්ත ක්‍රියාවලිය වේගවත් කල හැක.
මේ ක්‍රියාවලිය කිරි නිශ්පාදනයට බලපාන්නේ කෙසේද?
වැඩි කිරි නිශ්පාදනයක් ලබා ගැනීමටනම් එලදෙනගේ පෝෂණ අවශ්‍යතා හොඳින් සැපිරිය යුතුය. එසේ නොවන්නේ නම් කොතරම් ඉහල නිශ්පාදන හැකියාවක් ඇති සතෙකුගෙන් උවත් අපේක්ශිත ඉහල නිශ්පාදනය ලබා ගැනීමට නොහැකි වේ. පෝෂණ අවශ්‍යතා සැපයීමට නම් එළදෙන ඇති තරම් ආහාර ගත යුතුය.
දිග තෘණ වලට වඩා කුඩා කැබලි කෑමට ගැනීමට ගවයන්ගේ වැඩි කැමැත්තක් ඇත. ඒ නිසා කැබලි කල තෘණ දීමේදී ගවයන් වැඩි ආහාර ප්‍රමාණයක් ආහාර ගනී.
කැබලි කල තෘණ ලබා දුන් විට ජීර්ණය වීමේ ක්‍රියාවලියද වේගවත් වේ.
මේ හේතු මත සතුන් ආහාරයට ගන්නා කෑම ප්‍රමාණය වැඩි වන අතර එවිට ගවයන්ගේ පෝෂණ මට්ටම ඉහල යයි. එහි අවසාන ප්‍රථිපලය කිරි නිශ්පාදනය ඉහල යෑමය.
අනෙක් අතට තෘණ කැබලි කර ලබා දෙන විට සියලුම කොටස් ආහාරයට ගන්නා බැවින් ආහාර නාස්තිය අවම වේ. ඒ තුලින් නිශ්පාදන වියදම අඩු වීම හරහා ගොවිපලේ ලාබය යයි.
කිරි ගව පාලනාය් සාර්ථකව සිදු කරමින් දියුණුවෙන් දියූණුවට යන බහුතරයක් ගොවි මහතුන් තෘණ කැබලි කර ගවයන්ට ලබා දීමට යොමු වී ඇති බව එම ගොවිපල නිරීක්ෂණය කරන විට පෙනී යයි. ඔබත් තෘණ කැබලි කර ගවයන්ට ලබා දීමට කටයුතු කර ඔබගේ ගොවිපලෙන් ලබන ලාභය ඉහල නංවා ගැනීමට කටයුතු කරන්න.