කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි.

කිරි බුරුල්ල තුළට විෂබීජ (බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි රෝගකාරකයන්) ඇතුළු වී සිදුකරන ආසාදන තත්ත්වය නිසා බුරුළු ප්‍රදාහය ඇතිවේ.

මෙහිදී බුරුල්ලේ එක් කොටසක්, කොටස් කිහිපයක් හෝ සම්පුර්ණ බුරුල්ලම ආසාදනයට ලක්විය හැක. 

බැක්ටීරියා මඟින් ඇතිවන බුරුළු ප්‍රදාහය බහුලවම (95% ට වැඩි) වාර්තා වේ. 

  • රෝග කාරක තැවරුණු කිරි, දොවන්නාගේ දෑත් මගින්.
  • නිසි පරිදි නඩත්තු / පවිත්‍ර නොකරන ලද දොවන යන්ත්‍ර මගින්.
  • පරිසරයේ පවතින රෝගකාරකයන් සෘජුවම බුරුල්ලේ හෝ පුඩු වල තැවරීම මගින්.
  • මැස්සන් වැනි කෘමී සතුන් බුරුල්ලේ වැසීම මගින්.
  • බුරුල්ලේ හෝ පුඩුවල ඇතිවන තුවාල / සීරීම් මගින්.
  • බුරුල්ල සේදීමට / පිරිසිදු කිරීමට ගන්නා අපවිත්‍ර ජලය සහ අපවිත්‍ර රෙදි පිස්නා මගින්.
  • ගවයින්ට වැළඳෙන වෙනත් රෝග හරහා (කුර හා මුඛ රෝගය)

බුරුළු ප්‍රදාහය ප්‍රධාන වශයෙන් සායනික බුරුළු ප්‍රදාහය සහ උපසායනික බුරුළු ප්‍රදාහය ලෙස දෙයාකාරයකි.

සායනික බුරුළු ප්‍රදාහ රෝග තත්වයේ දී කිරි බුරුල්ලේ සහ කිරි වල සංයුතියේ සිදුවන වෙනස්කම් බාහිරව නිරීක්ෂණය කල හැක.

බුරුල්ලේ සිදුවන වෙනස්කම්,

  • රතු පැහැ ගැන්වීම.
  • ඉදිමීම.
  • උණූසුම් බව.
  • තද ගතිය.
  • ඇල්ලීමේ දී හා කිරි දෙවීමේදී වේදනා සහගත බව.

කිරිවල ස්වභාවයේ සිදුවන වෙනස්කම්,

  • කිරි අඩුවීම
  • කිරි වල කැදලි තිබීම
  • රුධිරය මිශ්‍ර වී තිබීම
  • වර්ණය වෙනස් වීම
  • දියාරු ගතිය

රෝගය උග්‍ර වූ අවස්ථා වලදී කෑම අරුචිය, උණ සහ ඇතැම් විට මරණය පවා සිදුවිය හැකිය.
අදාළ රෝග ලක්ෂණ පහළ වූ අවස්ථාවක ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලය වෙත ගොස් වහාම ප්‍රතිකාර ලබා ගත යුතු අතර ලබා දෙන උපදෙස් නිසි ආකාරව පිළිපැදිය යුතුය.

මෙහි දී රෝගකාරක විෂ බීජ මඟින් කිරි බුරුල්ල ආසාදනය වී ඇති නමුත් කිරි බුරුල්ලේ හෝ කිරි වල කිසිදු වෙනසක් බාහිරව නිරීක්ෂණය කළ නොහැක. එසේ වුවද දෛනික කිරි නිෂ්පාදනය සහ කිරි වල ප්‍රමිතිය අඩුවේ.
උප සායනික බුරුළු ප්‍රදාහය සී.ඒම්.ටී. (CMT) පරික්ෂාව මඟින් ඉතා පහසුවෙන් සහ නිවැරදිව හඳුනාගත හැක.

රෝග පාලනය

  • කිරි දෙවීමට ප්‍රථම බුරුල්ල හොඳින් සෝදා පිරිසිදු වියළි පිස්නාවකින් (රෙදි හෝ පේපර් ටිෂු) පිස දැමීම. මෙහිදී පෙර බුරුළු දෝවනය (pre milking teat dipping) ද යොදා ගත හැක.
  • අතින් දොවන්නේනම් කිරි දොවන්නාගේ දෑත් හොඳින් පිරිසිදු කර ගැනීම.
  • යන්ත්‍ර මඟින් දොවන්නේනම්, දොවන යන්ත්‍රය අදාල නිෂ්පාදිත උපදෙස් පරිදි හොඳින් පිරිසිදුකර ගැනීම හා නිසි ලෙස නඩත්තු කිරීම.
  • පළමුව නිරෝගී දෙනුන්ගේ කිරි දෙවීම හා අවසානයේ රෝගී දෙනුන්ගේ කිරි දෙවීම.
  • කිරි දොවා නිම වූ වහාම පුඩු, බුරුළු දෝවන දියරයේ ගිල්වීම සහ කිරි දෙන බිම වැතිරීම වැළැක්වීමට ආහාර ලබා දීම.

  • ගව නිවාසය හොඳින් වතුර බැස යන ලෙස සහ කඩතොලු නොමැති ආකාරයට නිසි ප්‍රමිතියට ඉදි කර ගැනීම.
  • පරිපූර්ණ ආහාර සලාකයක් ලබා දීම.
  • කිරි දෙනුන්ගේ ආතතිය අවම කිරීමට කටයුතු කිරීම. (ප්‍රමාණවත් ඉඩකඩ, ප්‍රමාණවත් වාතාශ්‍රය, දවස පුරා පිරිසිදු ජලය, ගාල තුළ උෂ්ණත්ව පාලනය)
  • මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගැනීම.
    • බුරුල්ලේ සහ කිරිවල සිදුවන වෙනස්වීම් ගැන සැළකිලිමත් වීම.
    • දෛනිකව හෝ අවම වශයෙන් සතියකට වරක්වත් ‘ස්ට්‍රිප් කප්’ පරික්ෂාව සිදු කිරීම.
    • අවම වශයෙන් මසකට වරක්වත් ‘සී.එම්.ටී’ පරීක් ෂාව සිදු කිරීම.

  • රෝග අවදානම වැඩි ගොවිපල වල දෙනුන් සඳහා,
    • කිරි වැරිමේදී ‘ඩ්‍රයි කව්’ ප්‍රතිකාර (dry cow therapy) ලබා දීම.
    • බුරුළු ප්‍රදාහය වැළැක්වීමේ එන්නත් ලබා දීම වැනි ක්‍රම භාවිතයට ගත හැක.
  • වෙනත් ගව රෝග වැළඳීම වළක්වා ගැනීමට කටයුතු කිරීම සහ පරපෝෂිත මර්දනය.
  • නිරතුරුව බුරුළු ප්‍රදාහය වැළඳෙන, බුරුල්ලට හානි වී ඇති, අඩු කිරි නිෂ්පාදනයක් සහිත සතුන් පට්ටියෙන් ඉවත් කිරීම.

Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *