මෙරට ගව පාලනයේ නිරත වන ගොවි මහත්ම මහත්මීන් අතර කෘතීම සිංචනය ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. නමුත් එළු පාලනයේ නිරත ගොවීන් අතර කෘතීම සිංචනය එතරම් ජනප්‍රිය නැත.
ඔබගේ එළු පට්ටියේ උසස් ආරයේ එළු පැටියන් බිහිකරවා ගැනීමට කෘතීම සිංචනය දායක කර ගත හැක. මෙම සේවාව ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති බොහෝමයක් පශු වෛද්‍ය කාර්යාල හරහා ලබා ගත හැක.
මේ වන විට බෝයර්, ජමුනාපාරී හා සානන් යන එළු වර්ගවල අධි ශීත කල ශුක්‍රාණු මෙරටදී නිපදවනු ලබයි. ශුක්‍රාණු වඩි නිශ්පාදනය සඳහා භාවිතා කරන්නේ උසස්ම ආරයේ පිරිමි එළුවන් ය. ඒ නිසාම කෘතීම සිංචනයෙන් උපදින එළු පැටවන්ටද උසස්ම ආරයේ ලක්ෂණ උරුම වනු ලබයි.
ඔබගේ එළු පට්ටියේ ආරය උසස් කර ගැනීමට හා පට්ටියට අලුත් ජාන එකතු කර ගැනීමට කෘතීම සිංචනය දායක වනු ඇත. කෘතීම සිංචනය භාවිතා කිරීම, උසස්ම තත්වයේ පිරිමි එළුවෙකු අලුතෙන්ම ගොවිපලට ගෙන ඒම හා සමානය.
එළුවන් සඳහා වන කෘතීම සිංචන සේවාව ගැන දැනුවත් වීමට හා සේවාව ලබා ගැනීමට ලඟම පශු වෛද්‍ය කාර්යාලය අමතන්න.