හන්දි උණ/ පෙකිණි උණ

පාද වල හන්දි ඉදිමී, ඇවිද ගැනීමට නොහැකිව වේදනාවෙන් පීඩා විදින ගව පැටියකු අතිශයින්ම වේදනාකාරී දර්ශනයකි. අවාසනාවකට අලුත ඉපදුන ගව පැටවුන් අතර හන්දි උණ තරමක් සුලබ රෝගයකි. අධික උණ, ආහාර රුචිය අඩු වීම හා හන්දි ඉදිමීම මේ රෝගයේ ප්රධාන රෝග ලක්ශණ වේ. බොහෝ අවස්ථවලදී පෙකිණියද ඉදිමෙන අතර එහි උකු කහපාට සැරව එකතු වීමක් දකින්නට පුලුවන. මේ රෝගය වැලදුන සතුන්ට ප්රතිකාර මඟින් සුව කිරීම බෙහෙවින් දුශ්කරය. අපහසුවෙන් හෝ සුව කර ගත්තද රෝගයට ගොදුරු වූ පැටවුන්ගේ නිසි වර්ධනයක් බලාපොරොත්තු විය නොහැක. මේ නිසාම මේ රෝගය වලක්වා ගැනීමට කටයුතු කිරීම එකම විකල්පය වේ.
ගර්භාශය තුල ජීවත් වන පැටවාගේ සියලුම පෝෂණ අවශ්‍යතා සැපයෙන්නේ  මවගෙනි. එසේම කලලය තුල නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කරන්නේද මවගේ ලේ වෙතටය.  මව හා පැටවා අතර පෝෂණ ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය හුවමාරුව සිදුවන්නේ පෙකිණි වැල හරහාය.  පෙකිණි වැල තුල රුධිර නාල තුනක් පිහිටා ඇති අතර පැටවාගේ ශරීරය තුලටත් ඉන් පිටතටත් ලේ ගමනාගමය සිදුවන්නේ ඒ නහර හරහාය.  පැටවා ඉපදෙන අවස්තාවේ මේ සම්බන්දය බිදී යන අතර එහිදී ඒ නහර පිටත පරිසරයට නිරාවරණය වේ. ඉපදුන අලුත යම් විශබීජයක් මේ නහර වෙත ඇතුලත් උවහොත් ඒවාට ශරීරය පුරාම පැතිරීමට ඉඩ තිබේ. ඒ පෙකිණිය සම්පූර්ණයෙන්ම වියලී යන තුරු ඒ නහර හරහා ශරීරය තුලට ඇති සම්බන්දය පවතින නිසාය. එසේ ශරීරයට ඇතුලු වන විශබීජ විවිධ අවයව වලට ගමන් කරන අතර ප්‍රධාන වශයෙන්  අක්මාව හා හන්ඳි වෙත ගමන් කරයි. එම තැන් වල වර්ධනය වන විශ බීජ පැටවා රෝගී කරනු ලබයි.  මේ රෝගය හන්දි උණ ලෙස හැදින්වන්නේ ප්‍රධාන ලෙසම හන්ඳි ආසාදනය කරන නිසාය.  පෙකිණිය ආසාදනය වන බැවින් පෙකිණි උණ ලෙසද හැදින්වේ.  

රෝගය වලක්වා ගැනීමට මෙම කරුණු පිළිබද අවධානය යොමුකරන්න

01. පැටවා බිහි කරන ස්ථානය :  පිරිසිදු විය යුතුය. තෙතමනය සහිත පරිසරයේ විශබීජ බහුලව ඇති බැවින් වියලි තැනක් විය යුතුය. පැටව් ඉපදෙන කූඩුවේ වියලි පිදුරු අතුරා තිබීම මඟින් පිරිසිදු වියලි පරිසරයක් නිර්මාණය කල හැක.

 

02. පැටව් බිහිකිරීමට ආසන්න එළදෙන :  පිරිසිදුකම ඉතාමත්ම වැදගත් වේ. එළදෙන අපිරිසිදු නම් පැටවා ඉපදෙන අවස්ථාවේත් ඉන් පසුවත් පෙකිණිවැලේ විෂබීජ තැවරිය හැක. 

 

03. ගොවි මහතා : අලුත උපන් පැටවා ඇල්ලීමේදී ගොවියාගේ පිරිසිදු කම ඉතාමත්ම වැදගත් වේ.

 

04. පෙකිණිවැල : සාමාන්යෙන් පැටවා බිහිවන අවස්ථාවේ පෙකිණි වැල කැඩී යයි. එසේ නොමැති අවස්ථාවක ශරීරයේ සිට අඟල් හයක පමන දුරකින් සිටින සේ අලුත් බ්ලේඩ් තලයකින් කපා දමන්න. නයිලෝන් නූලක් භාවිතා කර ශරීරයේ සිට අඟල් හයක් පමන දුරකින් ගැට ගසා ඉන් පසු කපා දැමීම වඩාත් සුදුසුය.  

 

05. පෙකිණියේ විශබීජ නාශක ගැල්වීම : රෝගකාරක විශබීජ විනාශ කිරීම සඳහා පැටවා ඉපදුන විගස පෙකිණිවැල විශබීජ නාශක දියරයක ගිල්වීම ඉතාමත්ම වැදගත් ය. පෙකිණියේ පූර්ණ ලෙසම  විශබීජ නාශක තැවරීම සහතික කිරීම සඳහා එම කෝප්පයක් වැනි දෙයක දියරය දමා පෙකිණිය සම්පූර්ණයෙන්ම ගිල්විය යුතුය.
ඒ සඳහා 7% අයඩින් (10% අයඩීන් ද්‍රාණය කොටස් හතකට සර්ජිකල් ස්පිරිට් කොටස් තුනක් එකතුකර සාදාගන්නා ද්‍රාවණය වඩාත්ම සුදුසු වේ.) හෝ  4% ක් ලොහෙක්සඩීන් (chlorhexidine) භාවිතා කල හැක.

 

6. නිසි ප්‍රමාණයට මුල් කිරි (කොලස්ට්‍රම්) ලබා දීම : පැටවුන්ට රෝග කාරක් විශබීජ සමඟ සටන් කිරීමට හැකියාව ඇති කරන ප්‍රතිශක්තිය ලැබෙන්නේ මුල් කිරි හරහාය. ඒ නිසාම අනෙක් රෝග මෙන්ම හන්දි උණ වලක්වාගැනීමටත් නිර්දේශිත ආකාරයට මුල් කිරි දිය යුතුය.

 

07. නිරන්තර පසු විපරම : පෙකිණිය සම්පූර්ණයෙන්ම වේලෙන තුරු නිරන්තරයෙන් පරීක්ෂාකාරී වන්න. පෙකිණිය ඉදිමී ඇතිනම් හෝ අල්ලන විට වේදනාවක් ඇතිනම් අනතුරකි. ඉක්මනින්ම ප්‍රතිකාර වෙත යොමු වන්න. පෙකිණිය අල්ලා පරික්ෂා කරණ විට අනිවාර්‍යන්ම අත් හොඳින් පිරිසුදු කර ගැනීම ඉතාමත්  වැදගත් ‍ය.    
 
Facebook
Twitter
LinkedIn
WhatsApp
Email
Print

තවත් පුවත්

Sinhala
asanka isuru

කිරි ගව බුරුළු ප්‍රදාහය

බුරුළු ප්‍රදාහය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපලවල කිරිදෙනුන් අතර ඉතා බහුල ලෙස පවතින රෝගයක් වන අතර ගොවිපල ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කිරි බුරුල්ල තුළට විෂබීජ

Read More »

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *